අප්පච්චිගේ තේ කඩෙන් රොටියක් කමුද?

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්‍රථම අපි කොතෙකුත් දේවල් ගැන සිතනවාද? ව්‍යාපාරයකට යොදවන මුදල් වගේම ව්‍යාපාරයේ නමත් එහි සාර්ථකත්වයට කොතරම් දුරට බලපානවාද?

අප්පච්ච්ගේ තේ කඩේ කිවුවම ඔබට මතකයට නැගෙන්නෙ ස්වභාවික සෞන්දර්යයෙන් පිරි ගමක ලස්සන පරිසරයක තිබෙන පුංචි තේ කඩයක් නේද?

රැල්ලට වැඩ කරන අය අතර අලුත් විදිහට හිතන පුද්ගලයන් සොයා යන ගමනේදී Business Advisor YouTube Channel එකේ අපිට මුණගැහුනා වෙනස්ම විදිහක සංකල්පයක් එක්ක හිතමින් වෙනස්ම විදිහක නමකින් තම ව්‍යාපාරය කරගෙන යන තරුණයෙක්.

දැනට වසර 9කට පමණ පෙර ආරම්භ කළ ඒ පුංචි තේ කඩය හෙවත් අප්පච්ච්ගේ තේ කඩය ගැන මහනුවර නුවරඑළිය මාර්ගයේ යන එන අය අතර නොදන්නා කෙනෙක් නොමැති තරම් දේශීය මෙන්ම විදේශීය සංචාරක ආකර්ෂණය දැඩි සේ දිනාගෙන තිබෙන මෙම තේ කඩය මිහිදුපුර, කටුකිතුල ඉරේෂ් සංජීවගේ සංකල්පයකි.

අපි හෝටලයකට ගොඩ වදින්නේ ආහාර ගෙන අපගේ කුසගින්න නිවා ගැනීමට නමුත් එහිදී අපගේ කුසගින්න නිවනවාට අමතරව අපගේ මනසද සන්සුන් කරන පරිසරයක් පවතිනවා නම් අපි නැවත නැවතත් එම ස්ථානයට යාමට පෙළඹෙනවා නේද?

සාමාන්‍යයෙන් අහන්න නොලැබෙන නමක් වන මේ අප්පච්චිගේ තේ කඩේ කියන නම දාන්න හේතුව මොකක්ද ඇහුවම ඔහු අපිට ලබා දුන්නේ මෙවැනි පිළිතුරක් "කඩේ දාල දවස් 3ක් විතර ගියාට පස්සේ කඩේට දාන්න නමක් මතක් කර කර ඉද්දී එක පාරටම අප්පච්චිගේ තේ කඩේ කියලා මතකයට ආවා. කහ පාට බෝඩ් එකේ කලු පාට අකුරින් අප්පච්චිගේ තේ කඩේ කියලා ලියලා කිතුල් හකුරු සමග කහට කියලා නමට යටින් ලියනවා කියලා හිතුවා. "

ඉතිරි කිරීම හොද පුරුද්දක් කර ගත් ඔහු උසස් පෙළ අවසන් වී කළ සුලු ව්‍යාපාරයකින් ඉතිරි කරගත් මුදල් යොදවා තම මවගේ අදහසකට අනුව මෙම ව්‍යාපාරය ආරම්භ කළේය.ඔහුටම පමණක් ආවේණික වූ මේ නම සහ ඔහුගේ වාසනාව, ඔහුගේ වචනයෙන් කියනවා නම් "ලැබීම තියෙන නිසා තමා මට සාර්ථක වෙන්න පුලුවන් උනේ කියලා මම හිතනවා. ඒ වගේම මේ නම නිසා මට marketing පැත්තෙන්ද වාසියක් වුනා."

අප්පච්ච්ගේ තේ කඩේ යන නමටම ගැළපෙන ආකාරයට ඕනෑම කෙනෙකුගේ ගත සිත නිවෙන පරිදි ස්වභාවිකත්වය මැනවින් ඉස්මතු වන ලෙස මොහු මෙය නිර්මාණය කර තිබෙනවා. නුවරඑළිය නගරයේ කිසිම තැනක දකින්නට නැති වෙනස්ම දෙයක් කිරීමට සිතූ මොහු ඒ මගින් තමන්ටම ආවේණික වූ අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමට අවශ්‍ය වුනා. මේ සදහා ඔහු විශාල ලෙස කාලය සහ ශ්‍රමය කැප කර ඇති බව මෙයට ගොඩ වන ඕනෑම කෙනෙක්ට පෙනී යන කරුණක්. එහි වහලය වෙනස්ම ආකාරයකට සකසා ඇති අතර ලණු වලින් කළ විවිධ නිර්මාණයන්ගෙන් අලංකාර කරගෙන තිබෙනවා.

කඩය ස්වභාවික ලෙස නිර්මාණය කරලා අත සෝදන sink එක ඇලුමිනියම් හෝ සිමෙන්ති වලින් හැදුවොත් එහි ස්වභාවිකත්වයට හානියක් වේ යැයි සිතූ මොහු අත සේදීම සඳහාද මැටි කලයක් යොදාගෙන අපූරු sink එකක්ද සකස් කරගෙන තිබෙනවා.

මේ අප්පච්චිගේ තේ කඩේ ප්‍රධාන ආහාරය තමයි රොටී. නයිමිරිස් සම්බෝලය සමඟ රොටී දේශීය මෙන්ම විදේශීය සෑම කෙනෙක්ම ඉතාමත් ආසාවෙන් රස බලනවා. නයිමිරිස් සමඟ රොටියක් කාලා කිතුල් හකුරු සමඟ තේ එකක් බිවුවම ලැබෙන feeling එක ලබන්න නම් එම අත්දැකීම විදින්නම ඕන.

ව්‍යාපාරයක ප්‍රධානතම සාධකය පාරිභෝගිකයින්, තම පාරිභෝගිකයින් සමග ඉතාමත් ලෙන්ගතුව කටයුතු කරන මොහු සිනහවකින් හෝ සංග්‍රහ කරමින් තමන්ගේ කෘතවේදීත්වය තම පාරිභෝගිකයින්ට පළ කිරීමට තරම් අවංක පුද්ගලයෙක් වෙනවා. ඒ වගේම පාරිභෝගිකයින් රඳවා තබා ගැනීමට මොහු විවිධ උපක්‍රම භාවිතා කරනු ලබනවා. නයි මිරිස් සමග රොටී කන විදේශිකයින්ට මිරිස් වල සැර අඩු වන තුරු රොටී කෑම සදහා කිතුල් පැණි ලබා දෙනවා. ඉතිං මේ පැණි සමගද වැඩි රොටී ප්‍රමාණයක් කන පාරිභෝගිකයා වඩාත් තෘප්තිමත් වෙනවා.

ඒ වගේම තමා ව්‍යාපාරයේ සේවකයන් ව්‍යාපාරයේම කොටසක් බවට පත් කර ගත් විට එම ව්‍යාපාරයේ සාර්ථකත්වයට එයද මහගු පිටුවහලක් වෙනවා. අනෙකුත් ව්‍යාපාරිකයින් මෙන් තම ව්‍යාපාරයේ සියලු කටයුතු තම සේවකයින්ට පවරා විවේකීව නොසිටින මොහු උදෙන්ම අවදි වෙලා සේවකයන් එන තුරු තමන්ගේ දවසේ වැඩ කටයුතු ආරම්භ කිරීම පුරුද්දක් කරගෙන ඉන්නවා.

තමන්ගේ සාර්ථකත්වයට වඩාත්ම බලපෑ පුද්ගලයා ගැන ඔහු අපි සමග බෙදා ගත්තෙ මෙවැනි අදහසක්; "මං ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ ලංකා රසාන්ජන සර්ගෙන්. සර් තමා මගේ self confidence එක හැදුවේ සහ සර්ගෙන් ලබා ගත් අත්දැකීම්, අදහස් එක්ක තමයි මං මේ තැනට ආවෙ. සර් මට කිවුවා පුතේ රාජාලියෙක් වෙයන් කවදාවත් රාජාලියෙක් මොන බාධකය ආවත් තමන්ගේ ගොදුර අතාරින් නෑ. ඒ වගේ අපිත් පටන් ගන්න දේ ගැන ලොකු හීන දකින්න ඕන. මේ ලෝකෙ හැම දෙයක්ම වෙනස් කරලා තියෙන්නේ මිනිස්සු, මිනිස්සුන්ට ඕන දෙයක් කරන්න පුලුවන් කියලා."

සාර්ථක ගමනක් ගිය පුද්ගලයෙක් විදිහට තමන්ගේ අත්දැකීම් සමග ඔහු අනිත් අයට ලබා දෙන පණිවිඩය නම් "යමක් කරන්න පටන් ගත්තම එය අවසානයක් දකිනකන්ම කරගෙන යන්න අතරමග නවත්වන්න එපා. එය අවසන් වන තැන ලොකු සාර්ථකත්වයක් මම දකිනවා. තමන් අවංකව හැමදේම හරියට කරනවා නම් සාර්ථකත්වය කියන්නේ easy ගේමක්" යන්නයි.

 

සැකසුම : දිල්රුක්ෂි කුමාරි
(Business Advisor Team)


Related Articles